2008/07/10

බලූ











පෙර කළ පිනින් සිටු මැදුරක උපන් බලු
ටික දොහකින් සිටු සැප කලකිරුනු බලු
කැබ් අසු පිටින් අබිනික්මන් කරන බලු
වෙහෙරේ බණ මඩුව කරගති නිවෙස බලු

වැලි මලුවේ වැලි කෙළියේ යෙදුණු බලු
පොඩි උන් අතර හුරතලයා තමයි බලු
සිටුසැප හලත් ගිහි ගෙට පෙම් බඳින බලු
දවසක් සවස අප නිවසට ආය බලු

බිතක්කනේ වැල් ඇඳ යට නිඳන බලු
අසුරු සැනෙන් ගුගුරා ගෙන පනින බලු
ඇසුත් දතුත් හැර කළු ගුලියක්ය බලු
එහෙයින් වීය ඒ බල්ලා අපට කළු

තුන්තිස් පැයේ මුර සේවේ යෙදෙන කළු
දිවි හිමියෙන් යුතුකම් ඉටුකරන කළු
නෙක ගර්ජන වැඩ වර්ජන නොදත් කළු
කළු මුත් නමට අපෙ කළුවා දැකුම්කලු

නිවසේ අප නැතොත් ලොක්කා තමා කළු
ඉනිවැට පනිනු නැත කිසිවෙක් දන්න කළු
කඩුල්ල අසල වැතිරී මග බලන කළු
දැවටී දෙපා මුල පිසලයි ගිමන කළු

මොර සූරන වැහි වට එක් රැයක මුළු
උතුරා ගඟුල ගං වතුරක් ගැලී රළු
කොතැනක ගියෙ ද ඉන් පසු නොදුටුවෙමි කළු
නිදුකින් සුගතියක උපදින් අපේ කළු

6 comments:

Anonymous said...

ලස්සනයි! :) (ඒත් කළු ගැන දුකකයි)

ඩනිෂ්ක said...

ඔව්, ඇත්තටම ලස්සනයි!
දිගටම ලියන්න... :)

fossurgeon said...

බලූ වැනි අය දන්නා අය හිතන හැටි ඔබගේ කවි පෙලින් අනගි ලෙස දක්වනවා. මා හිතනව බලූලටත් නැතිවූ මිනිසුනට මෙන්, පිං දීම යෝජිතයි කියල.

Anonymous said...

අද තමයි ඔයාගේ බ්ලොග් එක ඉස්සෙල්ලා ම බැලුවේ.මාත් බල්ලන්ට ගොඩක් ආදරෙයි. බලු ගැන කියවන්න ආස හිතුන නිසා බැලුවේ. බලනකොට කියවන්න ආස හිතෙන ඒවා ගොඩයි... ඔක්කොම කියවන්න නම් බැරි උනා. බලපු ටික නම් හිත ඇතුලට ම දැනෙන විදියට ලියලා තියෙනවා. ඔබට ජය !

Anonymous said...

මේක කියවන කොට විමලරත්න කුමාරගම කවියගෙ "සවුදම් ජෙමා" කවි පන්තිය මතක් වුනා. කතන්දරයක් හැටියට හරි අපූරුවට මේ කවි පන්තිය ගොඩ නංවල තියෙනවා. කීප සැරයක් කියවල රස වින්දා මේ කවි ටික.

මකරන්ද said...

පලවනු රිසින් සිත රජයන හුදකලාව
පිටලනු පිණිස හද පාරන වේදනාව
මිහිරි ද ? මිතුර මා කටු ගෑ කල්පනාව
මේ කව් කඳුලු හෙටඑයි කව් වැහි වලාව