2021/10/06

කිරි නොවැරූ අම්මා...



කන්ද පාමුල ඇන තියාගෙන

බලාගෙන මම ඉන්නවා...

දෙකොපොලේ රැඳී දෑත රූරා

කඳුලු හෙමිහිට වැටෙනවා.. 


බඩවැටිය සුදු මල් වඩා ගෙන

හෙමින් සුසුමක් හෙළනවා...

අදත් සමනල රෑන නැතිවම

ඉරත් අහසට එබෙනවා.. 


මිදුල කෙළවර ලන්ද ටික ටික

පඩිය පැත්තට ඇදෙනවා..

පියාපත් ලැබ වියළි අඹ පත්

හතර අත හැඩි කරනවා... 


පා හඬක් ඈතින් ඇහෙන විට

ඉහේ මල් දම් පිපෙනවා..

මොහොතකින් යළි දෑස බොඳකර

හීන් පොද වැහි වහිනවා.. 


පිය තෙපුල් සුදු සිනා කව් ගී

කොහෙන් දෝ මට ඇහෙනවා...

දෙතන් පුඩු කිරි දියෙන් තෙත් වී

මගේ පැටව් ටික හොයනවා...


තවත් ඉන්නට බැහැ දරා ගෙන

පපුව දැන් මගේ රිදෙනවා...

හෙට උදේ නාවොතින් අකුරට

හුස්ම පොද මගේ ගිළෙනවා...

2021/09/26

දිවි කුසුම...

වසන්තය නටු මත මැ පරවී

කටු ඉපල් මත සැතපිලා

සිනාකැන් සුසුමකට පෙරලී

හාත්පස කළුවර කළා... 


සිටින සඳ මට මම ද අහිමිව

හද උයන කතරක් වෙලා

හමා ආ සැඩ වැලි කුණාටුව

ක්ෂේම භූමි ද යට කළා... 


මතක සැමරුම් රුදු සපුන් ලෙස

විදා ගත් විස දළ පපා

ලුහුබඳින විට පළා යන්නට

බැරිව අසරණ විය දෙපා... 


නේක නින්දා බැනුම් පිරිපත

පහර ලැබ අහිමිව සැපා

හඬන හදවත ඉරිතැලී ගොස්

ලොව ම සදහට විය එපා... 


අත හරිමි තණ අගෙහි දියබිඳ

තවත් නැහැ පලයක් සිතා

නික්ම යන සඳ දුටිමි සඳවත

තනිව හිනැහෙන දුර ඉතා... 


එකලාව මහ අහස් විල මැද

සුදෝසුදු සඳ රැස් විදා

ලොවම නහවයි සිනා මුහුණින්

දැවෙන සත වෙත සෙත සදා... 


දැන හැඳින දිවි අරුත එසඳෙහි

සඳ දියෙහි ගිලෙමින් එදා

නැවත කුටියට ඇවිද ආවෙමි

දිවි කුසුම දෝතින් බදා...