2012/10/11

යුවතිපති



රන් රස විලස පෙළපත් සැසඳිනි සොඳිණී
ගහ තරු නැකැත්වල පරහක් නොම තිබිණී
බිලි දී සිහින මව් පිය සතුටට පැමිණී
අසිරිය සොඳුරු දීගෙක කෙලෙසක කියමී

දැන් මධු බඳුන් මැද පාවෙන වළාවක
ඔහු සඳ සොයන සඳ මා විය අමාවක
සෙවනැලි පවා ඇද දීගෙක මුලාවක
පැටලී විඳිනු නොව විඳවමි අපායක

තුන්යම සුසුම් සුළඟට නිදි නැති යහනේ
දෑඟිලි ලිහී හද දොරගුළු බිඳ වැටුණේ
පාවි ගිහින් සිත පොපියන සඳපහනේ
සැනසුම සොයයි පෙරදා මිය ගිය සිහිනේ

ඉසුරු සපිරි සිටු මැදුරක වෙසෙමු අපි
තුර්කි පලස් මත සක්මන් කරමු අපි
සයුරු තෙරක පවසට දිය සොයමු අපි
සිතිජය අසල හමු වෙමු හමු නොවන අපි

ආපසු හැරෙනු බැහැ ආ දුර වැඩි හින්දා
පෙළපත් රකිමු වළකා ගැරහුම් නින්දා
රඟදෙමු යුවතිපති චරිතය මනබන්දා
මම ඩයනාය නුඹ චාල්ස් නරනින්දා

2012/09/19

සදාතන අමාවක




නිවා ගත සරතැස ද
සිත සඳුන් කැන් උලන
වටාපත් ගෙන හමන
මඳ පවන කොයින්දෝ

ළං වත්ම සුබ මොහොත
ගයා ආසිරි ගීත
දොඩමළුව ඉඟි කරන
මිතුරු තරු කොයින්දෝ

වලාකුළු සිරි යහන
සරසන්ට නුඹ නමින
සුමුදු බඳ සුව සදන
කසී සළු කොයින්දෝ

ළපත් අග පළඳාන
නුඹ මුදුන් වූ කලට
සුදු සිනාපාන්නට
කොඳ කැකුළු කොයින්දෝ

වියෝ ගිනි අකුණු වැද
හද අහස ඉරි තැලී
ඉකි බිඳින පෙමට සරි
පෙමක් වෙන කොයින්දෝ

මහද අවපස අහස
පුන් පෝය දල්වන්න
නුඹ මැ මිස මෙදිය කුස
අන් සඳක් කොයින්දෝ

2012/08/19

මිණි පිළිමය




(විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමාව ලංකාවට වැඩම කරවයි. - පුවතක්)

තිලෝ තිලක සම්මා සම්බුදු හිමි වැඩි ලෙසිනා
අහසට පැන පෙළහර පා කැන්ගරු රට දෙසිනා
දුටු බැති දන දෝත් මුදුන් දී නිති වැඳ වැටෙනා
මැණික් මුවා පිළිම රජුන් ලක් දෙරණට වඩිනා

මරසෙන් මැඩ බුදු වනදා සෙවණ සැදූ බැවිනා
මුණි පුද ලද සිරිමා බෝ පිළිගනු රිසි බැතිනා
දියඹට වන් නිරිඳු විලස පෙර මඟ ගොස් තුටිනා
ජනපති හරසර පිදුවයි ශ්වේත පලස මතිනා

දෙව්රම් වෙහෙරට ගිය ලෙස බුදුන් දවස නිතිනා
පිළිම රජුන් සියැ'සින් දැක වැඳ වැටෙන්ට පතනා
දොලු කන්දෙන් මහජන ගඟ කොළොම්තොටට ගලනා
සංසාරෙට වඩා දිගට පෝලිම්වල තපිනා

අස්විද නැකතින් ඉගිලී කටු ගෙට වැද සැනිනා
කඩුව ගිල්ල කොක් නයිදේ සැදෑ වතින් මෙදිනා
පෝලිම පැන කැමරා මැද මිණි පිළිමය වඳිනා 
කොළඹ අහස කළු ඇඳ ගෙන අහක බලන් සිටිනා

තවත් කොළඹ රඳනු බැරිව මහද සොවින් තැවෙනා
පැදකුණු කොට සිතින් නිතින් ගඳින් මලින් පුදනා
අනුරපුරේ සමාධි බුදු ගුණ කඳ වැඩවසනා
උයනට වැදුණයි රිසියෙන් බණ පදයක් අසනා

අචල මඳහසින් බුදු හිමි දැහැන්ගතව වෙසෙනා
පර මල් පිපි මල'සුන ළඟ උක්කුටියෙන් සිටිනා
ඉපල්ව ගිය ගල් වඩුවෙක් බිමට නැමුණු වතිනා
මින් පෙර නො ඇසූ දහමක් මුණිවතින් ම දෙසනා

2012/06/11

සෙවනැල්ලක්




ළබැඳි මිතුරු දම් හද තිරසර බැවිනි
දුකට සැපට දෙකට ම නිති සම සිතිණි
රුවක් විලස බිතු සිතුවම් ළඟ රැඳිණි
පෙර'ත් බවෙක සොයුරෙකු යැයි මට සිතුණි

2012/06/05

රංච ගොඩ ළමයාගේ හෑල්ල





අතිගරු දෑ හිතැති උතුමාට අපේ රටේ
ලැබිලා ඇරයුමක් රැජිනගෙන් සුදු රටේ
අපොයි මෙහෙමත් උජාරුවක් මාද්දියේ
ඇහැට කනට නැහැ නිවනක් හත්තිලව්වේ

වෙල්ලස්සේ රට වෙනුවෙන් දිවි දුන්නු
දෙවියෝ අපේ කැප්පෙටිපොළ කුඩාපොල
දැකලා කොසොල් රජ හිනේ හැබැහින් ම
සිටියා ගල්වෙලා, කලියුගේ හැටි තමා 

2012/05/19

අකල් පෙම




නමා තුරු පතර විසිකර පත් දසත
හෝ හෝ හඬින් ඈතින් දිව එයි සුළඟ
හැපෙයි දොර පියන් සට සට ගා තදින
අහෝ! ගෙයි මගේ තනියට ඈ පමණ

ආලෝකයේ ගිල්වා ලොව අසුරු සැනක්
දැල්වී නිවී යන විදුලිය එළි උරගුන්
බඩ ගා බිත්ති පැන විදුලිය පේනුවලින්
දිව දහසක් දික්කර ගත කිලිපොළවයි

බෝම්බයක හෙන හඬ නංවමින් මහා
පෙරලා ගෙන අහස ගුගුරන ගෙරවිල්ල
දෙකන් අගුළු ලා හකුළා සියොළඟ ම
නැඟෙයි නැඟෙයි සාගර රළ ගෙඩි සේ ම

සරස් හඬින් සියයක් කස පහර දිදී
සුළඟෙ වෙලී වැහි අලු වහලයට පනී
විදුලිය ගෙරවිල්ල හා මුසු වැහි අඳුර
දල්වා ඇගේ මුදු ඇස් භීතියෙන් දැපී

සිතේ සිරව වදනට නො නඟනු බැරි ව
තිබූ යමක් දෑසේ කවියකින් ලියා
පාන් පැලක් කොට මා හද අඳුරු ලෙන
දල්වනු පිණිස දෝ වැස්සේ අකාලයේ

සුමුදු සුදු ගවුම රතු පෑ මල් පිපිණු
සුවඳ කළා ගෙය මන්මත් කර මහද
ඇගේ සුමුදු අතැඟිලි වෙවුලනා හදින්
අතින් ගෙන සිතින් සිම්බෙමි දහස් වරක්   

නගරේ සිව් මහල මුදුනේ කාමරයේ
බලා සිටින සඳ වසිනා වැස්ස දිහා
දකිමි නුඹේ ඇස රැඳී කව එදා ලෙසින්
එයින් මතු ව නුඹ මට හිමි නොවුණු හෙයින්




2012/04/28

තැවිලි



නුවර ඇඟලුම් කම්හලේ
සළු වියන නිමලා නංගියේ
සනුහරේ මගේ සිටු කුලේ
මා නුඹෙ ලොවින් පිටමං කළේ

නිදිවරා තුන්තිස් පැයේ
නුඹ යෞවනය වියදම් කළේ
සඳළුතලයට මන්දිරේ
මගෙ නුඹ නොවෙයි නිමලා වුණේ

ගොතන මුත් සළු බුහුටියේ
නුඹෙ ජීවිතේ කඩතොලු පෙනේ
ප්‍රේමයට සැළමුතු අපේ
ඒ නිසයි හිරු සඳු නොනැගුණේ

2012/04/25

නියංදාවත



රාස්සිගේ අව්වට
ගිනි ගත් වැලි තලා පිට
දැන් බෝ කලක සිට
ඇදෙයි මේ ඇළ හෙමිහිට

සුන්දර ලියක ලෙද
සොලවා සුමුදු මුදු බද
හස ගමනින් නිබඳ
පෙර ගිය ගමන් කෝ අද

වැහි වලා අතරින්
විදිලි එළි පෙළ විලසින්
පැන නැටූ සතුටින්
කුඩ මසුන් කොහි ගියෙද විගසින්

පිහිනීම ද නපුරු
එකෙකුට රැගෙන ආ මරු
ගොරක්වළ බියකරු
බලන්! අද දිය කඩිත්තක් යුරු

ගල මතින් වැගිරී
සළුවක් විලස විසිරී
හෝ හඬක් පැතිරී
ඇල්ල කඳුලක් විලස ඉහිරී

පවසට දරනු බැරි
බැද්ද වැල්ලේ එරි එරි
ඇළ මැදට දිය’තිරි
ගාටනා සැටි බලන් මැරි මැරි

උස්සාන රෙදි පොට
නැඟ නැඟ ඇඟිලි තුඩු පිට
ගිය ළඳුන් දිය පිට
පතුල් නොතෙමා ගියෝ එගොඩට

වැහි ලකුණකුදු නැති
අහසට නැගී සැනෙකිනි
තාත්තාගේ සුසුම් පොදි
ලිහිණි වෙස් ගෙන සරන්නේ නිති

2012/04/24

පූජියාමා කන්ද පාමුළ




නිල් කැටයක් රන් හුයකින් බැඳ තැබුවා වාගේ
අර බලන්න දේදුන්නක් පායා නිල් අහසේ
ගල් ඇන්දේ දිගා වෙලා හීන් දොළේ ඉවුරේ
නිල් දෑසින් මා වෙළමින් කීවා හොර රහසේ

සුරතලයට නුඹ තෙපලන සොදුරු වදන් අතරේ
මා කුරු කුහුඹුවකු විණැයි කිව යුතුයයි නොහැඟේ
පායා දේදුන්න අදත් ගිනි අරගෙන වාගේ
ගල් ඇන්දේ මා විතරයි වැසි කදුලැලි බෝවේ

2012/01/26

මිතුරියට . . .


















විකසිතව මල් විහඟ ස්වරයෙන් තුරු පතර
ගයයි ආසිරි ගීත සුළඟ හා අති මධුර
ජීවිතේ වසන්තය රැගෙන එන මල් පොකුර
දෝතින් ම පිළිගන්න ! සහස් සුපැතුම් අතර

පළඳා තුටු කඳුළක් හිරු සඳුගේ නෙත් අතර
මිතුරු නෑසිය මුවින් නැඟෙන ආසිරි අතර
උදාවන දින අදයි ජීවිතේ නව වසර
මිණි පහන නුඹ වෙන්න ! පිය නඟන කුල ගෙදර

2012/01/19

අහස අහිමි සඳක් . . .

















ඈත හිමේ සිය ගව්දුර වෙසෙන්නෙමි
දෑස තෙමෙන තුරු තනිවම හඬන්නෙමි
උල ලේනියට මම මගේ දුක කියන්නෙමි
නුඹට සතුට සැනසුම නිති පතන්නෙමි

රෝස කැකුළු සඳ වතුරින් දොවන්නෙමි
පරිස්සමින් පෙති විකසිත කරන්නෙමි
තුරුළු කරන් මල් රැය රැක බලන්නෙමි
එමල් පොකුරු නුඹ පෙර මග තබන්නෙමි

සුරඟන ලොවින් අම මී ගී ගෙනෙන්නෙමි
විහඟ තුඩට ඒ මී පැණි පොවන්නෙමි
සෙත් පිරිතක් වී නුඹෙ කන වැකෙන්නෙමි
මල් පාවඩ යටින් සැතපී සිටින්නෙමි

අඳුරු රැයට නුඹෙ අහසට මුදුන්වෙමි
කඳුළක් එතොත් මේ කුලකට මුවාවෙමි
පොහොය විලස නුඹ වෙනුවෙන් සිනාසෙමි
අරුණෝදයේ හෙමි හෙමිහිට වහංවෙමි

2012/01/04

බුද්ධාගම සර්ගේ අන්තිම පාඩම






















පෙරදා හිරු නැඟෙන පැයේ
සරසා සුදුවතින් සිතද
පැමිණිය පාසැල වෙත අද
නොකල්හි පියනඟමි මෙලෙස

අට ලෝ දම ළඟ නොසැලී
සිටිනා උවැසියක විලස
අකම්පිතව පාසැල් මව
පෙර මඟ නෙත් යොමා සිටී

තේ කම්හල් කඳු පාමුළ
පාසැල වෙත ගලා බසින
අකුලහේන පාරද අද
සුදු ඇඳ ගත් උවැසියක්ය

ඉර ගින්නෙන් මිදෙනු පිණිස
සෙවනැලි පා යට සැඟවුණ
මඟ දෑලේ ළමෝ දෙපෙළ
නිසොල්මන්ව බලා සිටිත්

පාපැදියක නැඟ පෙරදා
පාසැල වෙත ආ ඔබ අද
පැමිණෙයි රිය පෙළක් මැදින්
ආඩම්බර ලීලාවෙන්

සහස් වරක් ඔබේ මුවින්
ගැලූ දහම් ගඟුලම සරි 
අනියත දම් බිඳ දෙසන්ට
අවසන මෙහි පැමිණියෙහි ද

සියලු ලෝ දහම් නොතිරය
දුකය කියූ ඔබේ වදනට
සැඟවිය හැකි මුත් කඳුලැලි
සිත උල ලේනියක් වැනිය

බැස යන හිරු සමග එක්ව
ගම හැර යන ඔබ පසුපස
උඩලමත්තේ හංදිය වෙත
ගලා බසියි සුදු පෙරහැර

සිඳුණු වැවක සොබාව ගත්
අමරසේකරට පුදකළ 
සාලාවෙන් එකල නැගිණි
පෙර නොඇසූ විරූ බණක්