2009/11/10

අබිනික්මන










(නිජබිම් ආවර්ජනාව පිණිස ගුණදාස අමරසේකර යටලමත්තට ආපසු එයි.)

එදා නුඹ අතරමඟ
දමා ගිය දෙහි පැලය
'බැරි වෙලා වැටෙන්නැති'
යැයි කියා පැළ කළේ
සීයා ගෙ'දොරකඩ

දින නොබෝ ගිය සඳෙහි
අතැර නොනෑ හැම දන
කිත් යසස් කහවණු ද
අබිනික්මන් කළා නුඹ
දෙහි සොයා
මේ පුංචි ගම් දොරට

සිටුවරුද පඬිවරුද
එක්ටැම්හි වැඩ විසූ
නොදුටු නොතකා හළ
'දිව ඔසුවක් තමා දෙහි'
සිංහ නාද කළා නුඹ

ඒ නදින් පල දරා
පල වැරූ දෙහි පඳුරු
ගම් දනව් සිසාරා
රජ කරන කල්හි දෙහි
රජ ගෙදර දුගී පැල

සිටී නුඹ වං හුං
පිළිසඳර ගැමියන'තර
යටලමත්තේ ගෑණු
ඉස්කෝලෙ ළඟ
යසෝදරාවත ලියු
ගැමියා සේ වසන්ව

එදා නුඹ තබා ගිය
සෝඩි ටිකිරි පා පොඩිය
මග කියනු ඇත මෙදා
පුංචි සමනලයින්ට
මග දෙපස අත්පුඩි දෙන
කිරි සුදට සිනාසෙන

2009/09/16

ඉතින් අවසරයි !



මිතුරු පුරහඳ ලෙස
පායා පැමිණි පුරපස
දිනා සිප් මිණි ඇස
එන්න සුපැතුම් මේ කුසුම් පැස

2009/06/30

මිතුරාණ ...










සසර සුපුරුදු විලස හමු වී පැතුම් සුපිපෙන වෙලාවේ
නැගෙන ආසිරි ගී සිනා කැන් මුවගෙහි ම නැවතුණාවේ
සතුට සැනසුම සදන සිතුමිණ නිතින අතපත් වුණාවේ
ආවඩා ආයුබෝ වේවා ! රුවන්ගෙයි වාසනාවේ

2009/06/15

එකලා යහන









ජීවිතයේ මහගිරි දඹ නගින්නට
සසර පුරා අත්වැල වී ළඟින් සිට
යන්න පිටත් වී යළි මෙහි නොඑන්නට
සිනාසෙන්නියේ රහසින්, තැවෙන මට

වසර පුරා වෙහෙරේ දැල්වෙන පහන
විලස නිවී ගිය හැටි මගේ සඳපහන
තෙමා කඳු කොපුල් සීතල වැහි වහින
එකලා යහන අද හෙට තනිවෙයි ඉතින

2009/03/06

නුඹ සඳක් නොවුණා නම්



සඳක් නොවුණා නම්
අනේ නුඹ සඳක් නොවුණා නම් ...
අතැර මා දමා
අවරගිරි නටුයෙන් වැටී
මෑකී යන්නට වරම් නෑ අද

සොළොස් කලා පිරි පුරපස
ලෙසින මකා දිවි සරතැස
පීදුණු දා මා අරණේ ...
සිතුවේ නෑ තුන් සිතකින්වත්
අනේ නුඹ සඳක් නොවුණා නම් ...

පැතුම වී සිත පිළිසිඳ
සදා දිවි ආසා හද ගැබ
මකා අමාවක පෑයූ දා ...
සිතුවේ නෑ තුන් සිතකින්වත්
අනේ නුඹ සඳක් නොවුණා නම් ...