2008/11/28

1983










තල්ලඩි හංදියට උඩින්
මන්දාරම් අහස දිගේ
පෑයූ දේදුනු පාලම
කොච්චර නම් ලස්සනයි ද?

සිරි සිරි සිරි පොද වැස්සේ
විදිලි අකුණු ගෙරවුම් මැද
වගක් නැතිව හිනැහෙන කොට
කොච්චර නම් ලස්සනයි ද?

වෙඩි වැදිලා මහ කුලුනට
පාට හතම සී සී කඩ
විසිර ගියේ සිහිනෙන් නම්
කොච්චර නම් ලස්සනයි ද?

2008/08/19

බොළඳ පෙම










රෑ සිහිනයේ දුටුව
සුපිවිතුරු සුවඳ පිඬ
සොයා සිත ගමන් යයි
නිදි පැදුර මා හොවා

ගුරු පාර දෑලබඩ
හීනියට සිනාසෙන
කැලෑ මල් නෙලා ගමි
මල් බඳුන උතුරන්න

කුඹුක් ගහ පාමුල දි
සුදු කොපුල් සල සලා
මිණි කිකිණි මුදු හඬින
සිනාසෙත දියකීර

සුර ලොවින් මිහි බට
සුසුදු සුදු සුර අඟන
රෝස පෑ සාරියට
නුඹ හරි ම හැඩ තමා

සඳ එළිය වැක්කෙරෙන
පන්සලේ බෝ මළුව
වැතිර සමිඳුට කියමි
සුරකින්න නුඹ සදා

සුදු කොකුන් පෙළ මැදින්
තාලයට පා තබා
මිහිකත ද සනහමින්
වඩින තුරු මග බලමි

නුඹ නාව එක දවස
සඳ නොමැති පොහොයක්ය
හද පාළු සොහොනක්ය
විදින දුක නොතරම්ය

ඇවිත් නුඹ හෙමි හෙමින්
සිනා කිරි උතුරමින්
මල් පොකුර සිඹින සඳ
නුඹ වත ද එහි මලකි

පාව විත් මාළඟට
පිරිමදින විට මහිස
දෙපා මුල වැඳ වැටෙමි
මට සමා වුව මැනවි




2008/08/12

තනියක් කොද













තනි යහනට රෑ තුන්යම
රණ බිම මුර කුටියේ සිට
සඳ සේ පායා එන සඳ
තනියක් කොද මා හිමි සඳ

දිනූ බිමේ කැණිමඬල
සිඳින්නට
රොද බැඳි රුපුනොද සිඳ බිඳ
කුමරුන් සපුමල් ගමට වඩී හෙට
තනියක් කොද මා හිමි සඳ

තොටිලි වැටට බැරි
නවතාලන්නට
මොළකැටි පුතු මා තුරුලේ
මද්දුම බණ්ඩාරය සිතෙනා සඳ
තනියක් කොද මා හිමි සඳ

2008/07/29

මඟ බලමි














මලට මකරන්ද වෙන්නට
සඳට සඳ එළිය දෙන්නට
කොළොම්තොටින් හනික එන්න
මා හද කිරි උතුරන්නට

කඳු ඉනිවැට පියමං කර
එන තුරු නුඹ පොඩි අහසට
කුමුදු කැකුළ මඟ බලාවි
උළුවස්සට බර දී ගෙන

උඩුගං බසයෙන් බැහැලා
කඩුල්ල ළඟ පූදින සඳ
ඇතෙක් බරට සතුට ගලයි
පොඩි කැදැල්ල දෙගොඩ තලා

මුමුන මුමුන තෙපුල් නේක
දැවැටි දැවැටි සුසුම් පාස
පාන නිවා නිල් තරු කැට
තුරුල් වේවි සඳ පපු'තුර

2008/07/25

තුන්සිත් නිවී











අවමන් නින්දා මහ වරුසාවේ
සිත පෑරි දෙනෙතින් ගලනා සඳ
නුඹේ දයාබර මුදු බැල්මෙන් මා
ආතුර වූ සිත සුවපත් වේ

සිනාවතින් නිති ළඟ දැවටී
අකුණු සරින් හද දවන රුපුන් මැද
නෙතුමානේ නුඹ ගැවසෙනවා නම්
බෝ මළුවක සුව හදට දැනේ

දහසක් දුක් ලැබ මුකුලිත වී
කටු අකුලේ වැතිරී සිටිනා සඳ
පවනක් වාගේ නුඹ එනවා නම්
දුක සේදී තුන්සිත ම නිවේ

2008/07/18

නුඹ පුරහඳ



ගිමන් සමේ දවසක සවසක
පායා ආ මා සිත් අහසට
පුරහඳ නුඹ
නුඹ පුරහඳ

එක සිතින් පෙම් කළ වරදට
නෙක බැනුම් පිරිපත විඳිමින
මා හුන් කළුවර විජිතය
මුතු සිනාවෙන් එකලු කළ
කලාසපිරි පුරහඳ නුඹ

නුඹ මැවූ සිහින මල් උයනත
මා පෙමින් වෙළා සිරගත කොට
හදේ ගැඹුරුම තැනින් නික්මි
මැකී ගියත් හෙමි හෙමිහිට
කලාසපිරි පුරහඳ නුඹ

2008/07/14

අබිනික්මන











සුවඳ කැවූ පෙම් පත්වල සීදේවී
දකින දකින හීනේ පින්සර දේවී
බොළඳ තෙපුල් බොල් සුළඟේ ගොස් පාවී
කුලගේ දුක'ඳුරේ අද ඈ මූදේවී

නිලුපුල් දෙපෙති රතු වූයේ හඬා හඬා
සිසිවත වසා ලප මතු විය වඩා වඩා
කනකර බරණ උදුරා ගෙන කඩා වඩා
අසුපිට නැගී සුරලොව යයි සුරා සොඬා

නපුරු හීන දැක රෑ යම වැලපෙනා
දෑලේ හොවා ගෙන ජාලිය ක්‍රිෂ්ණජිනා
ගිනිහුල දියේ ලෑ යළි අතට ගෙන මනා
බැස හැර යන්න පිල්කඩ අසල නැවතුණා

සොඳුරු සිහින හළු කොට නැඟී බුර පුරා
ගෙයි ගිනි පිට නොදී තනිවම සිතේ දරා
ඉහිරී පතිකුලය උණු කඳුලු පෙර පෙරා
අබිනික්මන් කළා අවසන යසෝදරා

2008/07/10

බලූ











පෙර කළ පිනින් සිටු මැදුරක උපන් බලු
ටික දොහකින් සිටු සැප කලකිරුනු බලු
කැබ් අසු පිටින් අබිනික්මන් කරන බලු
වෙහෙරේ බණ මඩුව කරගති නිවෙස බලු

වැලි මලුවේ වැලි කෙළියේ යෙදුණු බලු
පොඩි උන් අතර හුරතලයා තමයි බලු
සිටුසැප හලත් ගිහි ගෙට පෙම් බඳින බලු
දවසක් සවස අප නිවසට ආය බලු

බිතක්කනේ වැල් ඇඳ යට නිඳන බලු
අසුරු සැනෙන් ගුගුරා ගෙන පනින බලු
ඇසුත් දතුත් හැර කළු ගුලියක්ය බලු
එහෙයින් වීය ඒ බල්ලා අපට කළු

තුන්තිස් පැයේ මුර සේවේ යෙදෙන කළු
දිවි හිමියෙන් යුතුකම් ඉටුකරන කළු
නෙක ගර්ජන වැඩ වර්ජන නොදත් කළු
කළු මුත් නමට අපෙ කළුවා දැකුම්කලු

නිවසේ අප නැතොත් ලොක්කා තමා කළු
ඉනිවැට පනිනු නැත කිසිවෙක් දන්න කළු
කඩුල්ල අසල වැතිරී මග බලන කළු
දැවටී දෙපා මුල පිසලයි ගිමන කළු

මොර සූරන වැහි වට එක් රැයක මුළු
උතුරා ගඟුල ගං වතුරක් ගැලී රළු
කොතැනක ගියෙ ද ඉන් පසු නොදුටුවෙමි කළු
නිදුකින් සුගතියක උපදින් අපේ කළු

2008/07/07

හෙමින් සැරේ











නුඹ හෙමින් සැරේ හෙමින් සැරේ ආවා
පුරපස අහසට සඳට වඩා
සුනිල දියට සියපතට වඩා
හෙමින් සැරේ හෙමින් සැරේ නුඹ ආවා

වැසි කදුලක් නොම ලද අහසින්
ලිහිණි සරින් ගීයක් ඇසුණා
ඒ රන් ස්වරයෙන් මා සිත් අරණේ
සිය සිය දහසින් මල් පිපුණා . . .

අත්තටු හිමි මුත් අහස අහිමි මා
සිරකළ කුටියේ දොර හැරුණා
අහස මගෙයි මා ඉගිලී යන සඳ
හිරු සඳු වී නුඹ ළඟ සිටිනා . . .

2008/07/03

කුමාරි











අකල් මරණයට කැපවුණු
අපේ අහිංසක පෙම ගැන
කඳුලු බිඳක් නැති වුණාට
නුඹේ ඇසේ කුමාරි . . .
ඇස් සහසක කඳුලු සලා
හැඬුවා මම කුමාරි

දවස පුරා මා හඬවා
රැ සිහිනෙන් කඳුලු පිසින
නුඹට හරිම ආදරේලු
තවමත් සිත කුමාරි . . .
පරවෙන්නැති එකම මලයි
මට නම් නුඹ කුමාරි

රැ සිහිනෙන්වත් ඇවිඳින්
මා හිස සිඹ සනසන්නට
කොතැනක හෝ නුඹ සතුටින්
ඉන්න ඕන කුමාරි . . .
සෙනෙහස පිරි සිටු මැදුරක
රැජින වෙයන් කුමාරි

හිරිහැරයක් නම් මතකය
ඒ සැමරුම් තටු සිඳලා
සඳලුතලෙන් මහවැලියට
විසි කරන්න කුමාරි . . .
මට හමු වෙයි ඒ සුපැතුම්
ගඟ පතුලෙදි කුමාරි

2008/07/01

කොත් එපා











දිනෙක මා මේ සිරුර අතහැර
නොකියාම යමි තරහ නුවු මැන
බධා සීතල සිරුර වැදහෙව
නොවැළපෙන් ඒ තමා දියදම

නිදි වරා දින ගණන් පිරිවර
තබා මැද ගේ ජරා මළකුණ
රකිනු රිසි පෙර පුරුදු පිළිවෙත
මගේ දවසට කඩාලනු මැන

ඔතා රෙදි කඩ මෘත දේහය
සුවිසි පෑ ගත වන්ට පළමුව
යට කරනු මැන පසට පොහොරට
දලුලන්න හෙට දවස ඒ මත

මා නමින් මේ බිමේ කිසි දින
අඹන්නට නොසිතනුය කොත් හෙම
වවා නෙක තුරු මලින් බර සඳ
එක මලක් මෙහි තබා යනු මැන

2008/06/29

හිමි අහිමි












අඳුර අරා පායා එන සදිසි සොමී
සසර පුරා නිති මා හා බැඳුණු හිමී
අතැර ගියා එහෙයින් උණු කදුලු බොමී
තිමිර ඉරා ඒ මතකය වැළඳ ගමී

කටට රසට රස මසවුලු වැළඳු පියේ
ගතට සැපට දිව සළුපිළි පැළඳි පියේ
නුඹට දුකට කිසි වරදක් වී ද පියේ
හිරුට සදුට මේ දුක් පවසම් ද පියේ

විතර නොවන සෙනෙහස දුන් සුපෙම්බරා
ඇසුර සදන ලද සැනසුම ගිමන මරා
නිතර නැවත සිත යළි යළි සසල කරා
එතෙර කරනු මැන මෙදුකින් යසෝදරා

2008/06/27

මව්නි සදා











දරු දුක හන්දා
නුඹේ ඇසින් වට කදුලින්
සත් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ . . .//

මොළකැටි මා පපුතුර සඟවා
දෙව්රම ගොස් මුණි බණ අසනා
එදවස සිට නුඹ හෙළු කදුලින්
දහස් සයුරු තැනුවැකි අම්මේ . . .
ඒ කදුලින් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ

රකිනු රිසින් රට රුපු පරදා
විජිතපුරේ සටනට ගියදා
ලොවට හොරා නුඹ හෙළු කදුලින්
දහස් සයුරු තැනුවැකි අම්මේ . . .
ඒ කදුලින් සමුදුර තැනුණායයි
අදහන්නට මට බෑ අම්මේ

සිහින








රෝස කැලේ කටු අකුලේ
පැටලී සීරුණු හදවත
සමහන් කොට ඈත පිපී
හිනැහෙන රන්සර සියපත

චණ්ඩ කතර ජීවිතයට
සිසිල සදන සිනාවෙන්ම
වැසි දෝතක නුඹ ඒ නම්
අන් සතුටක් මට කොයින්ද

2008/06/26

වැහි









වැහි වහින වැහි අඳුර අරක්ගත් මුළු අහස
නපුරු කළු ගැහැනියක තරහ මුහුණක්ය අද

දෙබරයට ගල් ගැසූ කලෙක මෙනි සතර අත
කැදලි තුරුලට ඇදෙන කල විහඟ සේනාව

චුචුරු චුරු චුචුරු චුරු ගහ වැලට තඩිබාන
පොද වැස්ස ඇවිළ යයි දැන් ටිකින් ටික තදට

පියැසි අග ඇද හැලෙන ඇඟිලි වන් දිය කැරලි
මුළු ඇඟම සලිත කර නඟයි හී ගඩු සැනින

නිදිකුම්බ පදුර මෙන් කරබාන මුළු ලොවම
ගාල් වී වැල් ඇඳේ වකුටු වී නිදන හැටි

සුළං අත්තටු ලබා බිතක්කන මතට පැන
පහර දෙන විට හනික ඇඳේ ඈතට ඇදෙන

හොහෝ හෝ හොහෝ හෝ හඬින් ඇද හැලෙන වැහි
ගෙපැල වටකර නැගෙයි තනා වක්කලම් ඇලි

පහළ ඇළ කුඹුර ඕවිට එකම යායක්ය
කරවටක් මඩ දියේ සලිත තුරු ඉම් කියන

සීතලට ගල් ගැහුණ සිත පතන මහ නිවන
උගුර කට දැවී යන උණු කහට උගුරක්ය

තුරල් වී හෙමි හෙමින් පොදක් විය මහ වැස්ස
හබුරු පිති හිසට කර යමුද දිය කඩිති පැන

හේනේ කුඹුරේ අකල් වැහි කෝඩයට හසුව
තෙත බරිත කිරිල්ලිය සිතම උණුහුම් කරයි

නාන තොටුපළ අසල පරවේණි ඒදණ්ඩ
නොමැත දැන් පෙනෙන්නට බිඳුණු ඇළ දෑල මිස

2008/06/25

සරතැස











නුඹ සිත මෙන් මලක් නොවී
ගලක් වූ නිසයි මා සිත
කැටයම් කළ ඒ සැමැරුම්
අදත් සදන්නේ සරතැස

සුළං රොදක සැහැල්ලුවෙන්
නුඹ නටුවෙන් ඉගිලුනාට
නුඹේ නමින් කුරුටු ගෑව
කැටපත් පවුරකි හදවත

පිණි බිඳු සේ මා මතකය
විසිකර නුඹ හිනැහුණාට
පෙති සපුරා මහද පිපුණ
සඳකඩ පහනකි නුඹ මට

බිරින්දෑවරු











මතු බුදු වන බෝසතුන්ට
මුවින් නොබැණ විවරණ දුන්
බුදුන් දකින නිවන් දකින
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

තෙමා වැටෙන සළුපිළියෙන්
දුක දිය කළ කදුලැල්ලෙන්
සප්ත සයුර ලුණු රස කළ
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

දිනා සසර බුදු වන තුරු
වනස්පති වෙවී ළඟවුන්
බුදු පුද ලද මහ ගුණ කඳ
බිරින්දෑවරු
සසර අතරමග නිවනයි
බිරින්දෑවරු . . .

2008/06/24

පාළු අහස යට










මේ පාළු අහස යට
රන් තරුව නුඹයි මට
සරතැසට යදඬු වැට
නුඹ මිසක කවුද මට

මුදු සිසිල සදන මට
පිය තෙපුල් සිනාවට
ඈත තරු උවම් කළාට
සමාවෙයන් මට
සමාවෙයන් මට

කලකිරෙන විටක සිත
දිවි බදුන පුරා මට
ජීවිතය දෙන්න දෝතින්
මේ සසර පුරාවට
මේ සසර පුරාවට

වසත් සමේ දවසක










සීතල කදුලු වැස්ස
අදත් වසින්නා
කොපුල් ඉවුරු තලා
නෙතුපුල් මිලින වෙලා
සීතල කදුලු වැස්ස
අදත් වසින්නා . . .

රිදී ඉරක් සේ පායා
තිමිර මැදින්
බැස ගියේ කිම් ද නොදනිමි
දුක දෙවා නොනිම්
සෝ සුසුම් පවන් සැදී
රෑ තුන්යම ඉකිබිඳි . . . //

වසත් සමය කැඳවා
නුඹ කුරවි සරින්
කිම මැකී ගියේ හෙමිහිට
අව සඳක් ලෙසින්
නිදුකින් නම් නුඹ සකි
මේ දුක'දුර සැපතකි . . . //

2008/06/23

සියඹලාව











තිසා වැවට සඳ වැටිලා
සඳ වතුරින් වැව පිරිලා
වාන් දමා ඒ සඳ දිය
හීන් දොලේ තෙපලනවා

නෙළුම් පත් යටින් පිහිනා
කුඹුරට සඳ දිය ගලලා
රන්වන් රන්වන් පාටට
අනාගතය කිරි වැදිලා

වැව අසබඩ සියඹලාව
පාමුළ මම හුදකලාව
අනාගතය නෙළා ගන්ට
අත දෙනතුරු ළතැවෙනවා