2013/08/21

ග්‍රහලෝකාගාරය ළඟ



ඈත පිටිසර පසල් නුවරෙක
පාසැලක පොඩි පන්ති අහුරක
පුංචි සමනල පැටව් පෙරහැර
පියමනිති ප්ලැනටේරියම වෙත

පුංචි පෙරහැර මඟ එකත්පස

නැගුණු නුගතුරු කුඩය සෙවණත
ගල්මුවා අසුනකට බර දී
හිම කිරමයක් රස බලන මම
සිතින් යමි ඒ සොඳුරු දවසට
මිතුරු පිරිවර තෙපුල් මඟහැර

අවදිකොට හිමිදිරි පාන්දර

නින්ද හොරුගත් රැයක් කෙළවර
දේවතා හුළු අතු එළිය ගෙන
පැමිණියේ මා රැගෙන අම්මා
පාසැලේ චාරිකා බසයට

සාමලා අමරලා සමඟින

ඔට්ටු වී අසුනකට කෙළවර
අඳුරු ගම්බිම් කවුළුවෙන් පිට
පසු කරන් හිරු නැඟෙන කණිසම
අගනුවර වෙත ආමි අවසන

බලා කටුගෙය නි'දස් සතරැස

රනින් ලියැවුණු අතීතෙට වැද
පියමැනිමි ප්ලැනටේරියම වෙත
මමත් මේ පෙරහැරේ හෙමිහිට

ගල්ව ගිය සිංහයා පෙරටුව

නැගෙන සටනට සිසුගේ පිළිමය
අසල අසුනේ මේ නුගය යට
එදත් සිටියා පිරිස රොදබැඳ

කාලයේ ඕඝයට ගොදුරුව

නෙක සුවඳ පැටි වියද සමඟින
මැකී මිතුදම් විසිර ගොස් අද
සාමලා අමරලා කොයිබද?

මේ පැටව් ටික පවා හෙට දින

විසිර ඉහිරී ඇදෙයි දසදෙස
කටු කොහොල් පිරි දුර්ග මංවල
ජීවිතේ ගිරිමුදුන සොයමින

එවුන් අතුරින් එකෙක් එදවස

නුගය යට මේ අසුන මත හිඳ
අද දවස වෙත තුරුළු වනු ඇත
කඳුලු සඟවා ඇහිපියන් යට
මෙදා මා ඇස් බොඳව යන ලෙස 

2013/08/15

කපා දමමු අපි එ'කපුටු බෝධිය



රන්වන් පාටින් දලු නා බෝධිය
නිල්වන් පාටින් කොළ නා බෝධිය
ග්‍රෑන්ඩ්පාස් පල්ලිය ළඟ පිහිටිය
කපා දමමු අපි එ'කපුටු බෝධිය

දුහුනන් පුද දුන් එ'කපුටු බෝධිය
බැම්මෙන් වට කළ එ'කපුටු බෝධිය
පිරිත් පැනින් නහවා එමැ බෝධිය
සාදු කියා පෙරළමු එමැ බෝධිය

උඩ මලුවේ අඩ හඳකි රවන්නේ
හඳ මැද්දේ තරුවකි පුපුරන්නේ
මාර සෙනඟ දසතිනි දිවැ එන්නේ
බෝධි සමිඳු අපවත් කරලාන්නේ

මුනි පා පහසින් සැනසුනු භූමිය
ගෞතම බුදුනට පුද දුන් භූමිය
කරුණා ගොළු මුහුදේ ගිලි භූමිය
බෝ රුකකට ඉඩ මදි වූ භූමිය

රන්වන් පාටින් දලුලන බෝධිය
අනුරපුරේ ජයසිරි මහ බෝධිය
හෙට කපුටෙකු හට දා වනැ බෝධිය
කපා දමමු හෙට එ'කපුටු බෝධිය

2013/08/14

අවන්හලකි ජීවිතයම අපි නිති යන එන



උදෑසනම කන්තෝරුවේ ඇරඹු මෙහෙවර
මාකට්ටුවෙ අතන මෙතන ගැවසුණු පිරිවර
ගලා බසින සඳ ගම වෙත දවසේ කෙළවර
පසල් ගමක සිරිය ගනී මේ මහ පුරවර

විසල් මාර ගස් පියසක සැඟවුණු අවසඳ

පාමුළ පොඩි අවන්හලක දැහැනට සමවැද
කනාමැදිරි විදුලි පහන් අඳුර ද විනිවිද
සෙට් වුණු හැටි නිතර නිතර කෙතරම් සොඳුරුද

ජින්ජි බියර් මට නුඹ හට මී විත දෑතට

රැගෙන ඒය වේටර් තව කෑමට බීමට
සූකරමද්දව රසයෙන් කුල්මත් වීමට
අදත් මසිත තනියම යයි එහි හැන්දෑවට

ජෝතිගේ මිල්ටන්ගේ සිංදු මුමුණා හෙමිහිට

මහැදුරු ගම්ලත් කැඳවා පදරුත් හෙළිකොට
අරඹුණු සංවාද කෙමෙන් දිවයින පසුකොට
බුදුන් කැටුව පියනැඟුවෙමු අපි ලයිසියමට

කාලය නම් තුරඟු පිටෙහි නැඟිලා එදවස

සිහිනෙන් ගෑ සුවඳක් විය අහසක අවපස
නුඹත් ඈත රටකය අද නියාදහම ලෙස
කුමක් ද මේ ජීවිතය ම අවන්හලක් මිස