2015/09/24

දුක ද සතුටකි නෙත් තෙමෙන විට



එදා වගේ ම ගාලු මුවදොර
පවන සුසුමන් හෙළනවා
සයුර ඉකිබිඳ හඬා ගෙන විත්
සලපනාවේ හැපෙනවා
අප අතැර ගිය සොඳුරු තැන්වල
නැවුම් පෙම් මල් පිපෙනවා
සෙමෙන් බැස ගිය කඳුලු බිඳුවක
අරුත මං තව සොයනවා

සිතිජ ඉම ළඟ සැදුණු චිතකෙහි
සඳකිඳුරු රුව දැවෙනවා
පතිනි සති පූජාවකට දෝ
ඈත ඔරුවක ඇදෙනවා
මතක මොහොරුන් වියරු වෙස් ගෙන
හදක් තූ තූ කරනවා
දරනු බැරිතැන වැළඳ දෙකොපොල්
අහස රහසින් තැවෙනවා

සහස් සුවහස් නැවුම් තරු ඇස්
සෙමෙන් ඇසිපිය හෙළනවා
සඳක් වන්නට බැරිව හද'ඹර
හොරෙන් ඉකිබිඳ හඬනවා
බඹරු ආදර කුසුම් කෙමිවල
නුරා මදිරා සොයනවා
නෙතඟ සීතල කඳුලු බිංදුව
පුරාහඳ වී දිළෙනවා

අවාරේ ආ සුළං කෝඩෙක
ළිහිණියෙකු තටු සලනවා
මතක බණවර හදින් නික්මි
සෙමෙන් තුඩඟින් ගලනවා
නැඟෙනු නොව සඳ වලාපෙල මැද
සෙමෙන් ඇසිපිය සලනවා
දුකම සතුටය සතුට දුකමය
කියා ඈතින් ඇහෙනවා

No comments: