2013/03/05

ලිහිණි අත්තටු ලැබ






ඉර හඳ සැඟවුණු නිවසේ - හුදෙකලාව වෙසෙනා සඳ
පදිංචියට උඹ ආ එක - කොච්චර නම් එකක් ද බොල

බෝම කලෙක සිට ගේ දොර - සිය විජිතය කොට රජයන
කිටියා නම් ගතු කියනවා - තනිකම උරුමය ලෙස ගෙන

මෙහෙ ඇවිදින් ටික දොහකින් - ලොකු මඟුලක් නොකෑවාට
හොඳ තැනකින් කසාදයක් - කර ගත් එක සතුටකි මට

උඹේ ඇඟේ දැවටි දැවටි - ඈ දොඩමලු වනු දුටු සඳ
සොඳුරු ඉසව්වක් සොයාන - අතීතයට ඉගිලෙයි සිත

දුව ලැබෙන්න සිටි මැණිකෙගේ - කුස නෙරද්දි වින්ද සතුට
උඹ බිත්තියෙ ගේ හදද්දි - එලෙසම මට දැනුණා නොවැ

මැද සාලය අරා සිටින - අපේ පවුලෙ පින්තූරය
ළඟින්ම මං හිතා ඉන්නේ - උඹලගේ එකකුත් ගහන්න

ඊට කලින් හැබැයි රජෝ - චූටි පැටව් ගොඩාරියක්
හදාපියකෝ  මේ මහ ගේ - ආයෙත් ඉතිරිලා යන්න

දවසක උන් ඉගිල යාවි - උන්ගේ සිහින කැදලිවලට
කියා දියන් ඒ සුරලොව - මෙතෙර මෙ දේසෙහි තනන්න

ඉඩ මදි නම් පොඩි කූඩුව - හදා ගන්කෝ තව ලොකුවට
පොතපත පිරි හිස් කබඩය - හෙට ම ඈත් කර දෙන්නම්

No comments: