2013/09/01

සෙනෙහස ඉම කොතැන !!!



ඔබ යන්න ඈතට ම
යෝධ ඇළ දියවර ව
මේ මගේ උරුමයයි
ඒ ඔබේ සිහිනයයි

තනි හිතට දුක හිතෙන
යාමයට සිප ගන්න
මතකයේ කටු පොකුර
මගේ දෝතට දෙන්න
මල රැගෙන ඔබ යන්න

එදා දොඩමළු දෑස
මුණිවතක සතපාන
සුළඟ සේ හමා ආ 
රිදී හඬ සඟවාන
නාඳුනන විලස මා
සෙමෙන් අතහැර යන්න

කිසි දිනක පෙර දවස
නුදුටු නුඹ දුටු සඳෙහි
දැනුණු සුපුරුදු සුවඳ
සූරලා ගෙන යන්න
මේ දැනුත් මට දැනෙන

තබා පියවර සතෙක්
පුබුදුවා සියපත් ද
මහද පියමැන වඩින
ඒ සුවඳ හමන්නේ
පෙරත් භවයක සිටද?

එදා මා හද උයන
නුඹ නිසා පිපුණු මල්
ගිරි දුර්ග වැසෙන සේ
පලසකට එලන්නම්
නුඹෙ සිනිඳු දෙපා පොඩි
පියනඟන මාවතේ

මගේ දෙනුවන් රැගෙන
ඉර හඳට දල්වාන
ඔබ යන්න මා අතැර
සොයා ගෙන වසන්තය
මේ මගේ උරුමයයි
ඒ ඔබේ සිහිනයයි

No comments: