2010/11/22

සුසුම් සන්දේශය (රෝහණ විජේවීර වෙත)












පතපොතින් සිතුවම් කළ රූපයෙන්
අප ඇඳින ගත් ඒ මිනිසා විසල්
සතුරන් මැ නො ව වඳුරු මිතුරන් ද දැන්
යළි යළිත් මරනා සැටි දැක තැවෙම්

වනස්පති වී දැයට සෙවනක් සදා
සෙතක් වන්නට ඔබ සිටවූ ගසේ
අතු ඉති ද බිම ලා කඳ පමණකි
පොරෝ පිහි ගත් උන් ගස මුල රකී

ඔබ හදේ ඉපදී මහ ගඟක් වී
දස දහස් හදවත් සිසිලෙන් තෙමා
ගැලූ ගඟ පටුව දිය කීරක් ලෙසින්
ගලයි මරු කතරකට අද කැහැටු වී

මාක්ස් ලෙනින් හා උරෙනුර ගැටී
වඩා හිඳුවා උන් කැප්පෙටිපොළත්
නුඹ නොමැති දා මගෙන් කිම් දැයි සිතා
බැස ගිහින් ජාතියේ කොඩියත් අරන්

සමාජවාදයේ ඇත් පිට තබා
දෑ-ප්‍රේමයේ කරඬු මහ පෙරහැරෙන්
වැඩම කළ යුගය අවසන, දැන් අහෝ!
වඩිති වල් අලි දනන් පුදතියි සිතා

රට ම අස්වද්දන්න දිය පොහොර දී
ගැලිය යුතු ගඟ මෙදා වල්මත් වෙලා
මැරි මැරී ජනසුන් කතරක් මැදින්
ඇදෙයි ජන හද සුසුම් පාවඩ මතින්

නොතබ ගත් මුත් කිසිත් ගුරු මුෂ්ටියක්
කට ගානු පෙර දහම් රන් කිරි එදා
කිම නෑසුයේ පුංචි අඹ ප්‍රශ්නයක්
එය ම විය උපතත් විපත ද උපන්

2 comments:

Neranji___නෙරංජි said...

හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

Samanthi Mahavidanage said...

අනෙකාට ජීවිතය දී මියෙන
සැබෑ මිනිස්සු නොවෙත් හැම කල
ගැලවීම ගැන දෙසා
හසුකර ගනිති උගුලට

ගොඩනගන්නට තැතැනූ මොළ ගෙඩි
ජරපත් ව බල ලොබින්
රඟනා බහු රූ කෝලම්
දැක නොතැවෙන් මලේ

ඔහු ගොසින් ඇත
ඒ දහම තබා ගොස් ඇත
කරන්නට දේ බොහොම
නුඹට මට නොවිතර අප සැමට