
උදේ හිටන් ගස් කට්ටියේ ගහක් ගානේ යන්නේ
ගහ වටේට පැදකුණු කොට මොනවද මතුරන්නේ
ටිකක් ගිමන් ඇරපන් බං ඔය හැටි වෙහෙසෙන්නේ
සංසාරේ බෝම දුරයි නෑ කෙළවර වෙන්නේ
ඉර දෙවියෝ රබර් යාය මුදුනින් පායන්නේ
හේඩාවට යට අපෙ දුක උන්දෑ නෑ දන්නේ
ගල් පොත්තේ දිගෑදිලා තදින් හුස්ම ගන්නේ
උඹට බූලෝ තේ තිබහ ද දෙපයේ දැවටෙන්නේ
රොටී එක්ක ලුණු මිරිසෙනි වේල ගෙවාගන්නේ
උඹ ඒකට හොඳ රුසියා මොකෑ මම නොදන්නේ
ඒකයි මම උඹේ කොටහ මුලින් ම බොට දෙන්නේ
ඒත් ඉතින් මම කනකන් උඹ නැහැ නොවැ කන්නේ
උඹෙ මන්තර නිසා තමයි පොල් කටු උතුරන්නේ
විගහට කිරි අකුළමු බං ඉරත් මුදුන්වෙන්නේ
ඇඟට ගොඩක් අමාරු නම් මොකෑ නොකිය ඉන්නේ
දෙවරු නොකප ගෙදර යමං හවසට වැහි එන්නේ
නිකා ඉඳින්! නිකා ඉඳින්! සාවුන් පන්නන්නේ
කළ පව් මදි හින්ද ද බොල තව ගොඩකර ගන්නේ
ඇඳිරිවෙලයි සොපි අක්කා ආප්ප පුච්චන්නේ
අද නම් සාතිකයි ඔන්න දොළ සංසිඳුවන්නේ
ගලෙන් පහළ දිය පතහේ සීතල උතුරන්නේ
ගිලී නාමු අපි දෙන්නා දාහය සේදෙන්නේ
ගෙදර ගොහින් පැදුර එළං පිලේ දිගෑදෙන්නේ
නිවන අරන් බැද්ද දිගේ කළුවර ගාටන්නේ
හතර අතේ කළුවරමයි ඇහේ පටලැවෙන්නේ
මොකෑ බූලෝ හීන් හඬින් ඔය හැටි කොඳුරන්නේ
දෙයියෝ බුදුන් සිහිකරලයි මං ඇහැපියවන්නේ
රබර් යාය පේන ජාමේ තමයි ඇහෑරෙන්නේ
2 comments:
ela
ස්තුතියි!
Post a Comment