2021/10/06

කිරි නොවැරූ අම්මා...



කන්ද පාමුල ඇන තියාගෙන

බලාගෙන මම ඉන්නවා...

දෙකොපොලේ රැඳී දෑත රූරා

කඳුලු හෙමිහිට වැටෙනවා.. 


බඩවැටිය සුදු මල් වඩා ගෙන

හෙමින් සුසුමක් හෙළනවා...

අදත් සමනල රෑන නැතිවම

ඉරත් අහසට එබෙනවා.. 


මිදුල කෙළවර ලන්ද ටික ටික

පඩිය පැත්තට ඇදෙනවා..

පියාපත් ලැබ වියළි අඹ පත්

හතර අත හැඩි කරනවා... 


පා හඬක් ඈතින් ඇහෙන විට

ඉහේ මල් දම් පිපෙනවා..

මොහොතකින් යළි දෑස බොඳකර

හීන් පොද වැහි වහිනවා.. 


පිය තෙපුල් සුදු සිනා කව් ගී

කොහෙන් දෝ මට ඇහෙනවා...

දෙතන් පුඩු කිරි දියෙන් තෙත් වී

මගේ පැටව් ටික හොයනවා...


තවත් ඉන්නට බැහැ දරා ගෙන

පපුව දැන් මගේ රිදෙනවා...

හෙට උදේ නාවොතින් අකුරට

හුස්ම පොද මගේ ගිළෙනවා...

2021/09/26

දිවි කුසුම...

වසන්තය නටු මත මැ පරවී

කටු ඉපල් මත සැතපිලා

සිනාකැන් සුසුමකට පෙරලී

හාත්පස කළුවර කළා... 


සිටින සඳ මට මම ද අහිමිව

හද උයන කතරක් වෙලා

හමා ආ සැඩ වැලි කුණාටුව

ක්ෂේම භූමි ද යට කළා... 


මතක සැමරුම් රුදු සපුන් ලෙස

විදා ගත් විස දළ පපා

ලුහුබඳින විට පළා යන්නට

බැරිව අසරණ විය දෙපා... 


නේක නින්දා බැනුම් පිරිපත

පහර ලැබ අහිමිව සැපා

හඬන හදවත ඉරිතැලී ගොස්

ලොව ම සදහට විය එපා... 


අත හරිමි තණ අගෙහි දියබිඳ

තවත් නැහැ පලයක් සිතා

නික්ම යන සඳ දුටිමි සඳවත

තනිව හිනැහෙන දුර ඉතා... 


එකලාව මහ අහස් විල මැද

සුදෝසුදු සඳ රැස් විදා

ලොවම නහවයි සිනා මුහුණින්

දැවෙන සත වෙත සෙත සදා... 


දැන හැඳින දිවි අරුත එසඳෙහි

සඳ දියෙහි ගිලෙමින් එදා

නැවත කුටියට ඇවිද ආවෙමි

දිවි කුසුම දෝතින් බදා...


2016/02/10

මම ආපසු ඉගිල්ලුණෙමි


කොළඹ කොන්ක්‍රීට් සොහොනෙහි
හීල් සුළං සඳට හඬන
සිටුපුත් සිත සනසනු වස්
නිදහස් සතරැසට වදිමි

ගල්මුවා මඟෙහි අසබඩ
නා තුරු යට තණ පලසෙහි
බුහුටි රටා වල් බිහි වී
තුත්තිරි මල් පිපී තිබේ

තුරුපතරෙහි ප්‍රභාමත්ව
කසුන් වැටක් සේ දෙව්ලොව
දිලුණු පහන් වැටෙහි පහන්
එක දෙක ඇස් පියාගෙනය

යනෙන දහස් දන කැඳවා
දැවෙන තැවෙන සිත් සැනසූ
කුට්ටම් පොකුණේ දියවර
අකාලයේ සිඳී ගොස් ය

බැරක් ඔබාමාගේ වෙස්ගත්
ගම්බිර ඩීඑස් පිළිරුව
කිරා වැටෙන සිහ රූ මැද
අභිමාණෙන් මදෙස බලයි

අකුණු හඬට පුංචි එකෙකු
මව් තුරුළට දුවන විලස
මම ආපසු ඉගිල්ලුණෙමි
කොළඹ දිව්‍ය විමානයට

2015/09/24

දුක ද සතුටකි නෙත් තෙමෙන විට



එදා වගේ ම ගාලු මුවදොර
පවන සුසුමන් හෙළනවා
සයුර ඉකිබිඳ හඬා ගෙන විත්
සලපනාවේ හැපෙනවා
අප අතැර ගිය සොඳුරු තැන්වල
නැවුම් පෙම් මල් පිපෙනවා
සෙමෙන් බැස ගිය කඳුලු බිඳුවක
අරුත මං තව සොයනවා

සිතිජ ඉම ළඟ සැදුණු චිතකෙහි
සඳකිඳුරු රුව දැවෙනවා
පතිනි සති පූජාවකට දෝ
ඈත ඔරුවක ඇදෙනවා
මතක මොහොරුන් වියරු වෙස් ගෙන
හදක් තූ තූ කරනවා
දරනු බැරිතැන වැළඳ දෙකොපොල්
අහස රහසින් තැවෙනවා

සහස් සුවහස් නැවුම් තරු ඇස්
සෙමෙන් ඇසිපිය හෙළනවා
සඳක් වන්නට බැරිව හද'ඹර
හොරෙන් ඉකිබිඳ හඬනවා
බඹරු ආදර කුසුම් කෙමිවල
නුරා මදිරා සොයනවා
නෙතඟ සීතල කඳුලු බිංදුව
පුරාහඳ වී දිළෙනවා

අවාරේ ආ සුළං කෝඩෙක
ළිහිණියෙකු තටු සලනවා
මතක බණවර හදින් නික්මි
සෙමෙන් තුඩඟින් ගලනවා
නැඟෙනු නොව සඳ වලාපෙල මැද
සෙමෙන් ඇසිපිය සලනවා
දුකම සතුටය සතුට දුකමය
කියා ඈතින් ඇහෙනවා

2015/09/21

සකුණ ගී හඬ මැකුණු අරුමය...



වසා සිසිවත
නැඟී මුණිවත
සදන පිරිපත
පෙළයි හදවත

බොහෝ දුර සිට
තෙපුල් රස කොට
බිණු සැටි මට
නැඟෙයි මතකෙට

ඔබේ ගී විඳ
සුදු සිනා මැද
ඉපිලි මම අද
හඬමි ඉකිබිඳ

තරු ඇසක් මෙන
කිම ද පියමැන
ගියේ සැනෙකින
කියා දෙනු මැන

2014/04/23

මා සඳුට...!


හද අහස සුදු සේල දවටාන
සිකුරු තරු ඉඟිබිඟි ද ඉවසාන
තටු සලන හැඟුම් විහඟුන් රෑන
පැතුම් හී සරින් බිමලමි තාම

පෝරුවක තබනු රිසි වයිසාක
සුදුසු කුමරෙකු සොයන දඟගේක
වෙසෙමි මම උසුලමින් දුකසෝක
සිල්ප දක්වනු මැනවි ළඟ දාක

මුමුණමින් දෑසඟින් පෙම් ගීත
සැඳෑ සක්මන පිණිස ළඟපාත
ගංදෑල සරැලි දිය මත සීත
ඇවිද යයි සිත අදත් දුරඈත

ඇසිපියන් තෙමන විට වලාහක
සැඩ සුළං නැඟෙන හද මුලාවක
පෙරත් සසරෙහි වගේ සිනාවක
පහන් කළ මැන ඉතින් අමාවක

2013/09/01

සෙනෙහස ඉම කොතැන !!!



ඔබ යන්න ඈතට ම
යෝධ ඇළ දියවර ව
මේ මගේ උරුමයයි
ඒ ඔබේ සිහිනයයි

තනි හිතට දුක හිතෙන
යාමයට සිප ගන්න
මතකයේ කටු පොකුර
මගේ දෝතට දෙන්න
මල රැගෙන ඔබ යන්න

එදා දොඩමළු දෑස
මුණිවතක සතපාන
සුළඟ සේ හමා ආ 
රිදී හඬ සඟවාන
නාඳුනන විලස මා
සෙමෙන් අතහැර යන්න

කිසි දිනක පෙර දවස
නුදුටු නුඹ දුටු සඳෙහි
දැනුණු සුපුරුදු සුවඳ
සූරලා ගෙන යන්න
මේ දැනුත් මට දැනෙන

තබා පියවර සතෙක්
පුබුදුවා සියපත් ද
මහද පියමැන වඩින
ඒ සුවඳ හමන්නේ
පෙරත් භවයක සිටද?

එදා මා හද උයන
නුඹ නිසා පිපුණු මල්
ගිරි දුර්ග වැසෙන සේ
පලසකට එලන්නම්
නුඹෙ සිනිඳු දෙපා පොඩි
පියනඟන මාවතේ

මගේ දෙනුවන් රැගෙන
ඉර හඳට දල්වාන
ඔබ යන්න මා අතැර
සොයා ගෙන වසන්තය
මේ මගේ උරුමයයි
ඒ ඔබේ සිහිනයයි

2013/08/21

ග්‍රහලෝකාගාරය ළඟ



ඈත පිටිසර පසල් නුවරෙක
පාසැලක පොඩි පන්ති අහුරක
පුංචි සමනල පැටව් පෙරහැර
පියමනිති ප්ලැනටේරියම වෙත

පුංචි පෙරහැර මඟ එකත්පස

නැගුණු නුගතුරු කුඩය සෙවණත
ගල්මුවා අසුනකට බර දී
හිම කිරමයක් රස බලන මම
සිතින් යමි ඒ සොඳුරු දවසට
මිතුරු පිරිවර තෙපුල් මඟහැර

අවදිකොට හිමිදිරි පාන්දර

නින්ද හොරුගත් රැයක් කෙළවර
දේවතා හුළු අතු එළිය ගෙන
පැමිණියේ මා රැගෙන අම්මා
පාසැලේ චාරිකා බසයට

සාමලා අමරලා සමඟින

ඔට්ටු වී අසුනකට කෙළවර
අඳුරු ගම්බිම් කවුළුවෙන් පිට
පසු කරන් හිරු නැඟෙන කණිසම
අගනුවර වෙත ආමි අවසන

බලා කටුගෙය නි'දස් සතරැස

රනින් ලියැවුණු අතීතෙට වැද
පියමැනිමි ප්ලැනටේරියම වෙත
මමත් මේ පෙරහැරේ හෙමිහිට

ගල්ව ගිය සිංහයා පෙරටුව

නැගෙන සටනට සිසුගේ පිළිමය
අසල අසුනේ මේ නුගය යට
එදත් සිටියා පිරිස රොදබැඳ

කාලයේ ඕඝයට ගොදුරුව

නෙක සුවඳ පැටි වියද සමඟින
මැකී මිතුදම් විසිර ගොස් අද
සාමලා අමරලා කොයිබද?

මේ පැටව් ටික පවා හෙට දින

විසිර ඉහිරී ඇදෙයි දසදෙස
කටු කොහොල් පිරි දුර්ග මංවල
ජීවිතේ ගිරිමුදුන සොයමින

එවුන් අතුරින් එකෙක් එදවස

නුගය යට මේ අසුන මත හිඳ
අද දවස වෙත තුරුළු වනු ඇත
කඳුලු සඟවා ඇහිපියන් යට
මෙදා මා ඇස් බොඳව යන ලෙස 

2013/08/15

කපා දමමු අපි එ'කපුටු බෝධිය



රන්වන් පාටින් දලු නා බෝධිය
නිල්වන් පාටින් කොළ නා බෝධිය
ග්‍රෑන්ඩ්පාස් පල්ලිය ළඟ පිහිටිය
කපා දමමු අපි එ'කපුටු බෝධිය

දුහුනන් පුද දුන් එ'කපුටු බෝධිය
බැම්මෙන් වට කළ එ'කපුටු බෝධිය
පිරිත් පැනින් නහවා එමැ බෝධිය
සාදු කියා පෙරළමු එමැ බෝධිය

උඩ මලුවේ අඩ හඳකි රවන්නේ
හඳ මැද්දේ තරුවකි පුපුරන්නේ
මාර සෙනඟ දසතිනි දිවැ එන්නේ
බෝධි සමිඳු අපවත් කරලාන්නේ

මුනි පා පහසින් සැනසුනු භූමිය
ගෞතම බුදුනට පුද දුන් භූමිය
කරුණා ගොළු මුහුදේ ගිලි භූමිය
බෝ රුකකට ඉඩ මදි වූ භූමිය

රන්වන් පාටින් දලුලන බෝධිය
අනුරපුරේ ජයසිරි මහ බෝධිය
හෙට කපුටෙකු හට දා වනැ බෝධිය
කපා දමමු හෙට එ'කපුටු බෝධිය

2013/08/14

අවන්හලකි ජීවිතයම අපි නිති යන එන



උදෑසනම කන්තෝරුවේ ඇරඹු මෙහෙවර
මාකට්ටුවෙ අතන මෙතන ගැවසුණු පිරිවර
ගලා බසින සඳ ගම වෙත දවසේ කෙළවර
පසල් ගමක සිරිය ගනී මේ මහ පුරවර

විසල් මාර ගස් පියසක සැඟවුණු අවසඳ

පාමුළ පොඩි අවන්හලක දැහැනට සමවැද
කනාමැදිරි විදුලි පහන් අඳුර ද විනිවිද
සෙට් වුණු හැටි නිතර නිතර කෙතරම් සොඳුරුද

ජින්ජි බියර් මට නුඹ හට මී විත දෑතට

රැගෙන ඒය වේටර් තව කෑමට බීමට
සූකරමද්දව රසයෙන් කුල්මත් වීමට
අදත් මසිත තනියම යයි එහි හැන්දෑවට

ජෝතිගේ මිල්ටන්ගේ සිංදු මුමුණා හෙමිහිට

මහැදුරු ගම්ලත් කැඳවා පදරුත් හෙළිකොට
අරඹුණු සංවාද කෙමෙන් දිවයින පසුකොට
බුදුන් කැටුව පියනැඟුවෙමු අපි ලයිසියමට

කාලය නම් තුරඟු පිටෙහි නැඟිලා එදවස

සිහිනෙන් ගෑ සුවඳක් විය අහසක අවපස
නුඹත් ඈත රටකය අද නියාදහම ලෙස
කුමක් ද මේ ජීවිතය ම අවන්හලක් මිස

2013/07/25

උණහපුළු ප්‍රේමය




ස්වයංජාතව මහද උපනැයි
නුඹත් දොස් දෙන දුගී සිහිනය
ළසෝ ගොහොරුව මතින් නැඟ සිට
සුවඳ කළ යුතු නැති ද පෙම් ලොව

ආදරේ මුල'කුරු කියා දුන්
නීල ඉඳුවර නුඹේ දෙනුවන
වහා කටුගැයේද සොඳුරිය
අතීතය දිය ඇඳි ඉරක් ලෙද

සිරි යහන වට සුදු නෙළුම ගෙන
ඇතෙකු පැදකුනු නොකළ පමණින්
අනේ නොකරනු මැනවි නින්දා
අගෙයි මට මගෙ උණහපුළු පෙම

පළඳවා කටු ඔටුනු හිස මත
රැගෙන ගොස් කල්වාරි මුදුනට
වනේ ලා මව් ලවා කොටවා
මිලින කරනට නොහැක ඒ පෙම

සඳුන් සිසිලැති සිනාපොදකට
පුරාහඳ ලෙද නැඟී හදගැබ
දිලෙන පෙම මුදු පවන් රැල්ලකි
නුඹේ මුණිවත් වීසිදැල ළඟ

2013/07/18

මා එහි මුණ ගැසෙනු නොමැත





මුහුණු පොතේ හෝ බ්ලොගයක
සංස්කෘතිය දෙස්පාලන
දර්ශන ගැන වදන් අතර
මා සොයනට නොයන් සබඳ

සාහිත නිරුදක කතරක
පවසට කවි බිඳක් සොයන
පුවත්පතක කෙටි ලිපියක
මා සොයනට නොයන් සබඳ

සම්ප්‍රදාය ඉතිහාසය
යළි විමසන නැවත ලියන
මහ පඬිවරු මැද කිසිදින
මා සොයනට නොයන් සබඳ

මා එහි මුණ ගැසෙනු නොමැත

නිදහස් සතරැස අහසට
හිරු නැඟ එන උදෑසනක
පිනි විසිරුනු තණ පලසෙහි
වැතිරී දෙව් සැප වළඳින
කිසිවෙකු මුණ ගැසුණු දිනක

පොහොයට සුදු සඳ එළියේ
වෙහෙරේ බෝ මළුව වටා
මල් පෙරහැර කරන දෑත්
අතරේ සැනසීම විඳින
කිසිවෙකු මුණ ගැසුණු දිනක

මිතුරු නඩය සමග යෙදෙන
සොඳුරු චාරිකාවක මැද
ගමන් වෙහෙස නිමනු පිණිස
ගයන වයන නටන ගයන
කිසිවෙකු මුණ ගැසුණු දිනක

කොළඹ වරායෙන් නැව් නැග
හිරු රට යන සැන්දෑවක
ගාලු මුවදොරෙහි අසුනක
සමාධිගත සුවය විඳින
කිසිවෙකු මුණ ගැසුණු දිනක

නුඹ මා මුණගැසෙයි සබඳ ... !

2013/05/19

රාත්‍රියකට සිහින අවැසිය ... !


















නුඹේ ඉඟි බිඟි
දිය පොහොර ලැබ
මහද පිපි පෙම්
කුසුම එදවස

පාළු නිරුදක
මහද කතරට
කෙම් බිමක් යැයි
බිනූ සකිසඳ !

තනා සුන්දර
සිහින මන්දිර
කනේ ලූ මී
රසට මිතුරුව

නේක සිටුවර
දෑත් මඟහැර
නුඹේ දෝතට
පිදූ ඒ මල

සෙමෙන් අතහැර
ඉවත යන සඳ
කෙලෙස දොස්
පවරම් ද නුඹ හට

රැයක් එළිකොට
බසින සඳ සඳ
කෙලෙස වළකනු
නිල් අහස වුව

පිරූ පෙරුමන්
පෑරුවද සිත
රාත්‍රියකට
සිහින අවැසිය

2013/03/18

මටත් හෙටත් දෝතට ගෙන
























තරු කසළින් හැඩි වී ගිය
අහස් මිදුල හැන්දෑවට
සුළං මුස්න ගෙන අමදිමි
අදත් එදා වාගෙම මම

පැහැදුල් නිල් අහස දිහෑ
බලපොරොත්තුවෙ දෑසින්
පේවී මඟ බලා ඉඳිමි
අදත් එදා වාගෙම මම

නිමා දැමුවෙ නුඹ එදවස
නුඹ දැල්වූ පහන් නිසා
දැල්විය යුතු එසඳ පහන්
හෙට දවසේ නුඹම තමා

එලා රන් පලස් පෙර මඟ
යොමා නෙත් අනන්තය වෙත
පුරා කප් සහස් කල් මම
බලා ඉමි වඩින තුරු නුඹ

අහවර කර මේ අවපස
පුරා හඳක් වී සොමිබර
වඩිනු මැනවි මල් යහනට
මටත් හෙටත් දෝතට ගෙන

2013/03/05

ලිහිණි අත්තටු ලැබ






ඉර හඳ සැඟවුණු නිවසේ - හුදෙකලාව වෙසෙනා සඳ
පදිංචියට උඹ ආ එක - කොච්චර නම් එකක් ද බොල

බෝම කලෙක සිට ගේ දොර - සිය විජිතය කොට රජයන
කිටියා නම් ගතු කියනවා - තනිකම උරුමය ලෙස ගෙන

මෙහෙ ඇවිදින් ටික දොහකින් - ලොකු මඟුලක් නොකෑවාට
හොඳ තැනකින් කසාදයක් - කර ගත් එක සතුටකි මට

උඹේ ඇඟේ දැවටි දැවටි - ඈ දොඩමලු වනු දුටු සඳ
සොඳුරු ඉසව්වක් සොයාන - අතීතයට ඉගිලෙයි සිත

දුව ලැබෙන්න සිටි මැණිකෙගේ - කුස නෙරද්දි වින්ද සතුට
උඹ බිත්තියෙ ගේ හදද්දි - එලෙසම මට දැනුණා නොවැ

මැද සාලය අරා සිටින - අපේ පවුලෙ පින්තූරය
ළඟින්ම මං හිතා ඉන්නේ - උඹලගේ එකකුත් ගහන්න

ඊට කලින් හැබැයි රජෝ - චූටි පැටව් ගොඩාරියක්
හදාපියකෝ  මේ මහ ගේ - ආයෙත් ඉතිරිලා යන්න

දවසක උන් ඉගිල යාවි - උන්ගේ සිහින කැදලිවලට
කියා දියන් ඒ සුරලොව - මෙතෙර මෙ දේසෙහි තනන්න

ඉඩ මදි නම් පොඩි කූඩුව - හදා ගන්කෝ තව ලොකුවට
පොතපත පිරි හිස් කබඩය - හෙට ම ඈත් කර දෙන්නම්

2013/01/10

රිසානා ... ට























කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
වනේ පිපි කුසුම වාගේ රුවට බැබලුණා
අනේ ගුරු ගෙදර පොත පත සිහිනයක් වුණා
අරාබියේ වාල් මේයට යන්න සිදුවුණා

සෙල්ලම හුරු මුදු දෑතට වැඩ සහසක් පැවරුණේය
අවිහිංසක පැතුම් පරව කඳුලැලි වැසි බෝවුණේය
දෙවියන් නැති නිමේෂයක නුඹේ ඉරණම විසඳුණේය
අහසින් පැන රාමලාන් සඳ හනිකට සැඟවුණේය

උපන් බිමට බර වැඩි වී වාල්කමට දුන්නු නඟේ
නුඹ විඳි පිරිපත මා හද දංගෙඩියක තබයි නඟේ
ඉසුරු පතා අරාබියට අඟනුන් මිල කරන රටේ
උපදින්නට පතනු එපා මතු කිසිදා පුංචි නඟේ !

2013/01/02

මතක වත




(ආදර සාමාට....)

නියා දම විලස බුදු හිමි පෑ මෙතිනී
නොයා බැරිය ආවොත් යා යුතු හෙයිනී
කියා දී සසර සැප මොහොතක් පමණී
ගියා නුඹ ගියා මා තනි විය ඉතිනී

දුක ද සැප විලස මා හා සසර පුරා
සිනාසිසී විඳ පිරිපත හදෙහි දරා
මට ම පිහිට වී කළ පිං පෙරුම්පුරා
සෑහේ උතුම් නිවනට මගෙ යසෝදරා

මහද බැඳ දමා දිවියට මඳහසිනී
තැවුල් ගෙන සතුට දන් දුන් මනනඳනී
නුඹත් ගිය හෙයින් බැඳි වරපට ලිහිණී
මමත් හනික එමි කළ යුතු එය පමණී 
 

2012/10/11

යුවතිපති



රන් රස විලස පෙළපත් සැසඳිනි සොඳිණී
ගහ තරු නැකැත්වල පරහක් නොම තිබිණී
බිලි දී සිහින මව් පිය සතුටට පැමිණී
අසිරිය සොඳුරු දීගෙක කෙලෙසක කියමී

දැන් මධු බඳුන් මැද පාවෙන වළාවක
ඔහු සඳ සොයන සඳ මා විය අමාවක
සෙවනැලි පවා ඇද දීගෙක මුලාවක
පැටලී විඳිනු නොව විඳවමි අපායක

තුන්යම සුසුම් සුළඟට නිදි නැති යහනේ
දෑඟිලි ලිහී හද දොරගුළු බිඳ වැටුණේ
පාවි ගිහින් සිත පොපියන සඳපහනේ
සැනසුම සොයයි පෙරදා මිය ගිය සිහිනේ

ඉසුරු සපිරි සිටු මැදුරක වෙසෙමු අපි
තුර්කි පලස් මත සක්මන් කරමු අපි
සයුරු තෙරක පවසට දිය සොයමු අපි
සිතිජය අසල හමු වෙමු හමු නොවන අපි

ආපසු හැරෙනු බැහැ ආ දුර වැඩි හින්දා
පෙළපත් රකිමු වළකා ගැරහුම් නින්දා
රඟදෙමු යුවතිපති චරිතය මනබන්දා
මම ඩයනාය නුඹ චාල්ස් නරනින්දා

2012/09/19

සදාතන අමාවක




නිවා ගත සරතැස ද
සිත සඳුන් කැන් උලන
වටාපත් ගෙන හමන
මඳ පවන කොයින්දෝ

ළං වත්ම සුබ මොහොත
ගයා ආසිරි ගීත
දොඩමළුව ඉඟි කරන
මිතුරු තරු කොයින්දෝ

වලාකුළු සිරි යහන
සරසන්ට නුඹ නමින
සුමුදු බඳ සුව සදන
කසී සළු කොයින්දෝ

ළපත් අග පළඳාන
නුඹ මුදුන් වූ කලට
සුදු සිනාපාන්නට
කොඳ කැකුළු කොයින්දෝ

වියෝ ගිනි අකුණු වැද
හද අහස ඉරි තැලී
ඉකි බිඳින පෙමට සරි
පෙමක් වෙන කොයින්දෝ

මහද අවපස අහස
පුන් පෝය දල්වන්න
නුඹ මැ මිස මෙදිය කුස
අන් සඳක් කොයින්දෝ

2012/08/19

මිණි පිළිමය




(විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමාව ලංකාවට වැඩම කරවයි. - පුවතක්)

තිලෝ තිලක සම්මා සම්බුදු හිමි වැඩි ලෙසිනා
අහසට පැන පෙළහර පා කැන්ගරු රට දෙසිනා
දුටු බැති දන දෝත් මුදුන් දී නිති වැඳ වැටෙනා
මැණික් මුවා පිළිම රජුන් ලක් දෙරණට වඩිනා

මරසෙන් මැඩ බුදු වනදා සෙවණ සැදූ බැවිනා
මුණි පුද ලද සිරිමා බෝ පිළිගනු රිසි බැතිනා
දියඹට වන් නිරිඳු විලස පෙර මඟ ගොස් තුටිනා
ජනපති හරසර පිදුවයි ශ්වේත පලස මතිනා

දෙව්රම් වෙහෙරට ගිය ලෙස බුදුන් දවස නිතිනා
පිළිම රජුන් සියැ'සින් දැක වැඳ වැටෙන්ට පතනා
දොලු කන්දෙන් මහජන ගඟ කොළොම්තොටට ගලනා
සංසාරෙට වඩා දිගට පෝලිම්වල තපිනා

අස්විද නැකතින් ඉගිලී කටු ගෙට වැද සැනිනා
කඩුව ගිල්ල කොක් නයිදේ සැදෑ වතින් මෙදිනා
පෝලිම පැන කැමරා මැද මිණි පිළිමය වඳිනා 
කොළඹ අහස කළු ඇඳ ගෙන අහක බලන් සිටිනා

තවත් කොළඹ රඳනු බැරිව මහද සොවින් තැවෙනා
පැදකුණු කොට සිතින් නිතින් ගඳින් මලින් පුදනා
අනුරපුරේ සමාධි බුදු ගුණ කඳ වැඩවසනා
උයනට වැදුණයි රිසියෙන් බණ පදයක් අසනා

අචල මඳහසින් බුදු හිමි දැහැන්ගතව වෙසෙනා
පර මල් පිපි මල'සුන ළඟ උක්කුටියෙන් සිටිනා
ඉපල්ව ගිය ගල් වඩුවෙක් බිමට නැමුණු වතිනා
මින් පෙර නො ඇසූ දහමක් මුණිවතින් ම දෙසනා