2010/09/06
පියසමර
මහ ගෙදර දෙපා මුල වෙල අසල දෙනිය පිට
නුඹ නිදන වැලි මලුව සිතින් පැදකුනු කරමි
කෙත මැදින් ඔහෙ ගලන ගුරු පාර අසබඩ ම
ඇණ තියා ගෙන සිටින සුදු ඉද්ද මල් ලවල
හිස බිමට යොමා ගෙන පිනි කඳුලු වසන් කර
මද පවනෙ ඉකි බිඳින වැඩි මහලු උණ පඳුර
දුක දරා ගනු බැරිව පපුතුරට අත් ගසන
විසල් පත් කීතු වුණ උඩ නියරෙ රඹ යාය
පසුකරන් පියමනිමි සුදු මලක් අතින් ගෙන
නුඹ නිදන මලුව වෙත සිතින් සිය දහස් වර
අහස් ගඟ පිය මනින නෙක විසල් මැදුරු මැද
කොළඹ මංමුලා වූ කුරා කුහුඹුවෙකි මම්
නෙක බැඳුම් දුක් ගැහැට සිඳියි දිරි පියාපත්
ඉගිලෙම් ද කෙසේ මම් සිතූ ලෙස නුඹ වෙතට
ඉසිඹුවක් ලද සැනින් නැඟී උඩුගම් බසෙක
එනතුරා දකින්නට නුඹ වෙසෙන ඉසව්වට
අවසර ද ඉගිල විත් නුඹේ සුවඳ විඳින්නට
නුඹ නිදන සුසුදු වැලි මලුවෙ වැඳ වැටෙන්නට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment