
පෙරදා හිරු නැඟෙන පැයේ
සරසා සුදුවතින් සිතද
පැමිණිය පාසැල වෙත අද
නොකල්හි පියනඟමි මෙලෙස
අට ලෝ දම ළඟ නොසැලී
සිටිනා උවැසියක විලස
අකම්පිතව පාසැල් මව
පෙර මඟ නෙත් යොමා සිටී
තේ කම්හල් කඳු පාමුළ
පාසැල වෙත ගලා බසින
අකුලහේන පාරද අද
සුදු ඇඳ ගත් උවැසියක්ය
ඉර ගින්නෙන් මිදෙනු පිණිස
සෙවනැලි පා යට සැඟවුණ
මඟ දෑලේ ළමෝ දෙපෙළ
නිසොල්මන්ව බලා සිටිත්
පාපැදියක නැඟ පෙරදා
පාසැල වෙත ආ ඔබ අද
පැමිණෙයි රිය පෙළක් මැදින්
ආඩම්බර ලීලාවෙන්
සහස් වරක් ඔබේ මුවින්
ගැලූ දහම් ගඟුලම සරි
අනියත දම් බිඳ දෙසන්ට
අවසන මෙහි පැමිණියෙහි ද
සියලු ලෝ දහම් නොතිරය
දුකය කියූ ඔබේ වදනට
සැඟවිය හැකි මුත් කඳුලැලි
සිත උල ලේනියක් වැනිය
බැස යන හිරු සමග එක්ව
ගම හැර යන ඔබ පසුපස
උඩලමත්තේ හංදිය වෙත
ගලා බසියි සුදු පෙරහැර
සිඳුණු වැවක සොබාව ගත්
අමරසේකරට පුදකළ
සාලාවෙන් එකල නැගිණි
පෙර නොඇසූ විරූ බණක්