කන්ද පාමුල ඇන තියාගෙන
බලාගෙන මම ඉන්නවා...
දෙකොපොලේ රැඳී දෑත රූරා
කඳුලු හෙමිහිට වැටෙනවා..
බඩවැටිය සුදු මල් වඩා ගෙන
හෙමින් සුසුමක් හෙළනවා...
අදත් සමනල රෑන නැතිවම
ඉරත් අහසට එබෙනවා..
මිදුල කෙළවර ලන්ද ටික ටික
පඩිය පැත්තට ඇදෙනවා..
පියාපත් ලැබ වියළි අඹ පත්
හතර අත හැඩි කරනවා...
පා හඬක් ඈතින් ඇහෙන විට
ඉහේ මල් දම් පිපෙනවා..
මොහොතකින් යළි දෑස බොඳකර
හීන් පොද වැහි වහිනවා..
පිය තෙපුල් සුදු සිනා කව් ගී
කොහෙන් දෝ මට ඇහෙනවා...
දෙතන් පුඩු කිරි දියෙන් තෙත් වී
මගේ පැටව් ටික හොයනවා...
තවත් ඉන්නට බැහැ දරා ගෙන
පපුව දැන් මගේ රිදෙනවා...
හෙට උදේ නාවොතින් අකුරට
හුස්ම පොද මගේ ගිළෙනවා...