2011/09/30

කොළඹ දුවන්නියේ . . .















කන්ද ලන්ද පහු කර ගෙන දුවන් එන්න
ඇඟිලි ගැන්න දින ළං වී කොළඹ යන්න

අන්ද මන්ද කර ජන ගඟ බලන් ඉන්න
එන්න එන්න වේලාවට කලින් එන්න

කරන් කුඹුරු කොස් දෙල් කා ගමේ ඉන්න
ඉතින් බැරිය සුර ලෝකය නො දැක ඔන්න

ඉඩම් කඩම් සනුහරයට කන්න දුන්න
නිකන් වගේ වික්කේ මං කොළඹ යන්න

පැතුම් පතන එසැනින් පා මුළට ගන්න
යන්න ඕන කොළඹටමයි සැප විඳින්න

උපන් දා ඉඳන් විඳි දුක් නිමා වෙන්න
ගමෙන් තුරන් වී කොළඹට සැපත් වෙන්න

ඉතින් තවත් නොපමා වී හනික එන්න
සුරබිදෙන සොයා කොළඹට ඉගිල්ලෙන්න

2011/09/26

රජු මුණ ගැසීම



















බෝ කලෙකින් නොදුටු පියා
දකිනට රිසි වු දැරියක
දිව යන ලෙස ඔහු තුරුලට
ඇකයට පැන මුමුනන්නට
වෙල්ලෝරයේ වීදි දිගේ
මම ද හනික ඇවිද ගියෙමි

යවටක් සේ ගිනියම් වූ
හිරු ළංවී අතේ දුරට
කිසි වරදක් නැති මවකට
දඬුවම් දෙන රජෙකු විලස
දුහුවිලි තුරඟුන් පිට නැඟ
කසෙන් තලයි වියරු විලස

විසල් පවුරු මුරකාවල්
සදිසි දූගී පැල්පත් පෙළ
අරා සිටින දුගී මුහුණු
නිහඬව පවසන වදනක
මෙහි නිරිඳෙකු නිදන බවෙක
සලකුණු නම් කිසිවක් නැත

කිලිටි ඇඳුම් වසා නැඟෙන
අවිහිංසක සිනාවකින්
මුව සරසා කුඩා ළමෝ
නොදත් බසින් කී කතාව
කණ වැල කොට එකත්පස්ව
බලා හිඳිමි පියගැට ළඟ

ඉවසිල්ලක් නැති මා සිත
මල කෑ දොරගුළු විනිවිද
මහ ප්‍රතාප රජු අබියස
පවසයි ආගිය තොරතුරු
ඔහුගේ හෙළ රජ දහනේ
දෙසිය වසක් පුරා ගැලූ

අහෝ කවර පුදුමයක්ද
සුදු පෑ කොත් පෙළක මැදිව
දැහැනට සමවැද තිර ලෙස
අප රජිඳා තවත් කොතක
නිහඬව භාවනාවකය
රජ සැප හැර ගිය විලසින

සුවහස් පිරිවර මැද සිට
රට කරවු එනිරිඳු සඳ
අද තනිවම ගෙවන දිවිය
මගේ නෙතට ගෙනෙන කඳුලු
බුදු බණ පදයක් සිහිකර
දෑස් කොනේ සඟවාලමි

ඔ‍බෙන් කිරුළ උදුරා ගත්
නොරටින් ආ සුදු රජවරු
එදා ගැමුණු එළාර හට
කළ බුහුමන් නොදත් නිසා
විඳිම්ද ඔබ මේ පිරිපත
අශූචි මළ වැලි කතරක?

රජ සිරිතට හද යට කොට
ඇහැලේපොල පවුල එදා
රුදු මරු තුරුලට විසි කළ
අණ කොඩිවිණයක් වී අද
ඔබ පසුපස ලුහු බඳියි ද
රිය සක පසුපස ගැල ලෙස?

රටට නේක වින කටින්ට
දතකන සතුරන් අබිමුව
විරසක වී අප හැම දෙන
එකාවන්ව නැගී නොසිට
එදා කළ වරද ගොරතර
පහදනු වස් මෙහි සිටිම්ද?

සිරින් පිරි ඔබේ රට මැද
තනා රන් කොතක් කදිමට
බුහුමනින් වඩම්මන්නට
පෙරහැරින් ඔබේ ගුණ කඳ
තරහ අවසරයි මහ රජ
විගසකිනි ගිහින් එන්නට

2011/09/08

එක්තරා සැඳෑවක
















මලානික ඉර එළිය බැස ගියායින් පසුව
ගලින් කළ මග ගෙවා පඩි පෙළින් එතෙර වී
සැඳෑ සක්මන පිණිස ඇවිද ගිය මා දෙපා
නතර විණි සෑ මළුව කොනක වූ කුළුණ යට

දහම් ගැටයක් ලිහන නා හිමි වටා රැඳෙන
කුඩා හිමිවරු විලස බැති සිතින් සිල් දරන
වෙහෙර බිම සුපිපුණු මේ පුංචි කඳු සිරස
සතර අත කඳු පෙළකි හැමදාම බණ අසන

සැඳෑ අඳුරේ ගිලුණු ඉස්කෝලේ ගොඩනැගිලි
අකුලහේනට දුවන සර්පයෙකු වැනි පාර
වෙහෙර බිම පාමුලෙහි පොල් පුවක් හේඩාව
මැදින් තවමත් පෙනේ, පෙනෙන නොපෙන විලස

දේවතා එළි අරන් ඇවිත් නිති වැඳ වැටෙන
දෙවියන්ට සෑ රදුන් දෙව් ලොවට දැකගන්ට
ඉස්කෝල කඳු මුදුන ෆැක්ටේරියට ඉහළ
මෝදුවන සඳ මඩල අස්වැසිල්ලකි කදිම

සෑ මළුව අසබඩ ම බෝ සෙවණ බුදු මැදුර
මල් වට්ටි පහන් සිළු සුවඳ දුම්වල සුවඳ
රැගෙන සක්මන් කරන මුදු සිසිල් මද පවන
නේක අනියත හැඟුම් ගෙනෙයි මා හදවතට

හබුරු කොළ වට්ටියක සුදු ඉද්ද මල් රැගෙන
අත්වැලට වාරු වී වෙහෙර පියගැට ගණින
මහලු අම්මාවරුන් දහම් අනියත දෙසන
වෙහෙර බිම වෙත මසිත මෙසේ ලොල් වී කිම ද?